24 June 2025


ලොවක් මවිත කළ ඉෂන් කිෂන්ගේ නොදැවුණු දැවීයාම



ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (23) පැවති තරගයේදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ඉෂන් කිෂන් දැවී ගිය පිතිකරුවෙක් ලෙස සිතා පිටියෙන් ඉවත්වීමට තීරණය කිරීම ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත්වුණා.

මුම්බායි කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 8ක් දැවී පන්දුවාර 20 තුළ ලබා ගත්තේ ලකුණු 143ක් පමණයි.

දීපක් චහාර් යොමු කළ පන්දුවකට එක ලකුණක් ලබා සිටි අංක 3 පිතිකරු ලෙස පැමිණි ඉෂන් කිෂන් පහරක් එල්ල කිරීමට උත්සාහ කළා.

කෙසේ වෙතත් එම පන්දුව පිත්තේ නොවැදුණු පන්දුව වයිඩ් පන්දුවක් ලෙස කඩුලු රකින්නා වෙත ඇදී ගියා.

එම අවස්ථාවේදී පන්දු යවන්නා හෝ කඩුලු රකින්නා විසින් පිතිකරු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කරන්නැයි විනිසුරුගෙන් ඉල්ලීමක් සිදු නොකළ නමුත් ඉෂන් කිෂන් තමන් දැවී ගිය අයෙක් ලෙස සිතා පිටියෙන් ඉවත් වීමට තීරණය කළා.

අනතුරුව විනිසුරු විසින් එය වයිඩ් පන්දුවක් ලෙස නම් කරන ආකාරය දුටු ඔහු යළි සිය සීමා ඉර කරා පැමිණි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එහිදී පිතිකරු විසින්ම තමන් දැවී ගිය අයෙක් ලෙස තීරණය කර ඇති බව නිරීක්ෂණය කළ විනිසුරු වහාම සිය තීරණය සංශෝධනය කරමින් ඉෂන් දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කළා.

Ultra Edge තාක්ෂණය ඔස්සේ එම පන්දුව පිත්තේ වැදුණු ආකාරයක් දැක ගැනීමට නොහැකි වුණා.

 
(crictimes.lk)