බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 176කින් ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.
මෙම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දෙවන ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 27ක් පමණයි.
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කර ගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණා.
මෙම අමිහිරි වාර්තාවේ පෙරමුණ හිමි කරගෙන තිබෙන්නේ නවසීලන්ත කණ්ඩායම විසින්.
ඒ 1955 වසරේදී ඔවුන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 26කට දැවීයාමත් සමඟයි.
මේ අතර කොදෙව් දෙවන ඉනිමේදී පිතිකරුවන් 7දෙනෙක්ම ලකුණු නොලබා දැවී යාමද විශේෂත්වයක්.
ඒ අනුව ටෙස්ට් ඉනිමකදී වැඩිම පිතිකරුවන් සංඛ්‍යාවක් ලකුණු නොලබා දැවී ගිය කණ්ඩායම ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉතිහාසගත වුණා.
බටහිර ඉන්දීය කොදෙව් දෙවන ඉනිමේ පස්වන කඩුල්ල දවා ගැනීමට මිචෙල් ස්ටාර්ක්ට අවශ්‍ය වූයේ පන්දු 15ක් පමණයි.
එය පිරිමි ටෙස්ට් තරගයක වේගයෙන්ම කඩුලු 5ක් දවාගත් අවස්ථාව ලෙසයි වාර්තා වන්නේ.
මීට පෙර 1947 වසරේදී ඉන්දියාවට එරෙහිව අර්නි ටොෂැක්, 2015 වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ස්ටුවර්ට් බ්‍රෝඩ් සහ 2021 වසරේදී එංගලන්තයට එරෙහිව ස්කොට් බොලන්ඩ් පන්දු 19කින් ඔවුන්ගේ පස්වන කඩුල්ල දවා ගෙන තිබෙනවා.
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 225ක් රැස් කළා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 143ක්.
අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 121ක් රැස් කරගත්තා.
(CRICTIMES.LK)