14 November 2025


ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනයෙන් රතු එළියක්



පාකිස්ථානයේ සංචාරයක නිරත වන ජාතික කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙක් ආරක්ෂක හේතූන් මත නැවත සිය රට බලා යාමට ඉල්ලීම් කර ඇති බව කණ්ඩායම් කළමනාකාරිත්වය ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එම දැනුම්දීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ක්‍රීඩකයන් සමඟ සම්බන්ධ වී ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය සහ අදාළ බලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් එවැනි සියලු ගැටලු නිසි ලෙස විසඳන බවට සහතික වූ බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සියලුම ක්‍රීඩකයන්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ කණ්ඩායම් කළමනාකාරිත්වයට උපදෙස් දී තිබෙන්නේ සංචාරය නියමිත පරිදි කරගෙන යන ලෙසයි.

කෙසේ වෙතත් සංචාරය දිගටම කරගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නියෝගය නොතකා සංචාරක කණ්ඩායමේ ඕනෑම ක්‍රීඩකයෙක් හෝ සාමාජිකයෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළහොත් සංචාරය බාධාවකින් තොරව දිගටම කරගෙන යාම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වහාම ආදේශක ක්‍රීඩකයන් යැවීමට සූදානමින් සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝග නොතකා කිසියම් ක්‍රීඩකයෙක් හෝ සහායක කාර්ය මණ්ඩල සාමාජිකයෙක් නැවත පැමිණියහොත් ඔවුන්ගේ ක්‍රියාවන් තක්සේරු කිරීම සඳහා විධිමත් සමාලෝචනයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

එමෙන්ම එම ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ සමාලෝචනය අවසානයේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බවයි.



(crictimes.lk)